Posted by: nipunsa | ඔක්තෝබර් 13, 2012

(අ) පරාජය

කතා කරන්න දුක හිතෙන මාතෘකාවක් වුනත් අපේ ඇතැම් දේශප්‍රේමී ක්‍රීඩා ලෝලීන්ගේ පොර ටෝක්ස් නිසා ලියන්න ඕන කියල හිතුණා.

ඕනෑම ක්‍රීඩාවක යථාර්තය මොනවට පැහැදිලි කරමින් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැති 2012 විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසාන මහා තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම අවාසනාවන්ත ලෙස පරාජයට පත් වුනා.එය ක්‍රීඩාවේ ස්වභාවයයි.එක කණ්ඩායමක් ජයග්‍රහණ්ය කිරීමට නම් අනෙක් කණ්ඩායම අනිවාර්යයෙන්ම පරාජයට පත් විය යුතුයි.ජයග්‍රහණයට අයිති කරුවන් රැසක් සිටියත් පරාජයේ දී කවුරුවත් නෑ කියන කාරණය ඔප්පු කරමින් අපේ ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩකයන්ට බනින හැටි ඇහෙණකොට දුකයි.

“මාලිංගයා මැච් එක වික්කා”,” මහේලයා මැච් එක කෑවා”,” ඔය ලකුණු ටික ගහ ගන්න බැරි උනානේ” කියා බණින උදවිය බැට් එකක් අල්ලලා තියා පාසල් ගියා නම් අඩුම තරමේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලකදී වත් ක්‍රීඩාවක් නොකරපු උදවිය විය යුතුය. අපට ජීවිතයේ ජය පැරදුම දරා ගැනීමට කියා දෙන්නේ ක්‍රීඩාව තුලිනි.ජයග්‍රහණයේදී සතුටු වීමට සේම පරාජයේදී දරා ගැනීමටත් පුරුදු විය යුතුය. ජයග්‍රහණය කරා යා හැක්කේ පරාජයේ අත්දැකීම් තුලිනි.

අවසාන මහා තරඟයේදී කොදෙව් ඉනිමේ මුල් පන්දු වාර 12 දී ඔවුන් ලබා සිටියේ ලකුණු 48ක් පමණකි.නමුත් 12 වැනි පන්දු වාරයේදී කොදෙව් පිතිකරු මාලන් සැමුවෙල්ස් විශාල පහරවල් කරා යන ආකාරයක් දක්නට ලැබුණි.ලෝන්ග් ඕන් කලාපයේ පන්දු රකිමින් සිටි නුවන් කුලසේකර අතට අපහසු උඩ පන්දුවක් ලෙසට ඇදී ගියේ ඔහු එල්ල කල එවැන පහරකි. මේ නිසා 13 වැනි පන්දු වාරය ක්‍රියාත්මක කරන්නට මහේලට සිය විශ්වාසවන්තම පන්දු යවන්නා වන ලසිත් මාලිංගව කැඳ වීමට සිදු විය.ඒ තවත් කඩුල්ලක් දෙකක් ලබා ගන්නට විය යුතුය.ඒ මන්දයත් මහේල මාලිංගට පන්දුව දෙන්නේ කණ්ඩායමට කඩුලු අවශ්‍ය වන විටක වීමය. පසුව මාලිංගට සහ මහේලට බැනපු බොහෝ දෙනා එවෙලේ මහේලගේ තීන්දුව යටි සිතින් අනුමත කරන්නට ඇත.නමුත් අවාසනාවන්ත ලෙස එම පන්දු වාරයේදී සහ ඔහු විසින් යවනු ලැබූ අනෙක් පන්දු වාර වලදී විශාල පහරවල් වලට ගොස් ලකුණු රැස් කරන්නට කොදෙව් පිතිකරු මාලන් සැමුවෙල්ස් සමත් විය.ඒ ක්‍රීඩාවේ ස්වභාවයයි.

මහේලට සහ මාලිංගට බනින අයට මතක් කල යුතු තවත් කරුණක් තිබේ. එනම් ඔවුන් දෙදෙනාගේ දක්ෂතා නොමැති වූවා නම් ශ්‍රී ලංකා පිලට අවසාන මහා තරඟයට ක්‍රීඩා කිරීම පවා සිහිනයකි. දකුණු අප්‍රිකාවට එරෙහි පැවැති තරඟයේදී හැර අනෙකුත් සියලුම තරඟ වලදී මහේලගේ පිත්ත ක්‍රියාත්මක විය.නවසීලන්තයට එරෙහි පැවැති තරඟයේදී සුපිරි පන්දු වාරය ක්‍රියාත්මක කරමින් තරඟය ගොඩ දා දුන්නේ මාලිංගය.එංගලන්තයට එරෙහි තරඟයේදී ද කඩුලු 5ක් ලබා ගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වීමට මාලිංග සමත් විය.පාකිස්ථානයට එරෙහි පැවැති තරඟයේ දී පන්දු රැකීමේදී කිසියම් පීඩනයකට ලක් වූ ආකාරයක් පෙන්නුම් කලද අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පාකිස්ථානු පිතිකරුවන් පීඩනයකට ලක් කලේ මාලිංගය

T20ක්‍රිකට් යනු වේගවත් ක්‍රීඩාවක් වන අතර එක් ඉනිමකට හිමි වන්නේ මිනිත්තු 80ක් පමණි.T20ක්‍රිකට් වලදී ජය ගන්නේ වැරදි අඩුවෙන්ම කරන කණ්ඩායමය. නමුත් ක්‍රීඩා කරන්නේ මනුෂ්‍යන් නිසාත් මනුෂ්‍යන් අතින් වැරදි අඩුපාඩු සිදු විය හැකි නිසාත් ජය පරාජය දරා ගැනීමට ක්‍රීඩකයන්ට මෙන්ම ක්‍රීඩා ලෝලීන් වන අපටද හැකිවිය යුතුය. දිගටම කියවන්න…

Advertisements

ක්‍රිකට් තරඟයකදී එක් පන්දු වාරයක අවසන් පන්දුවට පිතිකරුවෙකු විසින් හතරේ පහරක් එල්ල කල හොත් මීලඟ පන්දු වාරයේ මුල්ම පන්දුවට පහර දිය යුත්තේ අනෙක් අන්තයේ සිටි පිතිකරුයි. මේක ක්‍රිකට් පොතේ තියන මෙන්ම අපි හැමෝම දන්න දෙයක්නෙ. නමුත් මෙම නීතියට සම්පූරණයෙන් පටහැනි දෙයක් සිදු වුණා. ඒ 2011 වසරේ ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවති තරඟයේදී...

මෙම තරඟය ඔබ කාටත් මතක ඇති. තරඟය පැවැත් වුනේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී මෙහිදී මුලින් පන්දුවට පහර දුන් පාකිස්ථාන ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට ලකුනු 278 ක ඉලක්කයක් ලබා දුන්නා.ඉතින් මම අර මුලින් කියපු සිදුවීම සිද්ධ වුනේ තරගයේ දෙවන  ඒ කියන්නෙ ශ්‍රී ලංකා ඉනිමේ 43 සහ 44 කියන පන්දුවාර තුලදී.

අබ්දුල් රෙහෙමාන් විසින් ක්‍රියාත්මක කරන ලද 43 වැනි පන්දු වාරයේ අවසන් පන්දුවට මුහුණ දුන් ඇන්ජලෝ මැතිව්ස් එයට ලකුණු 4ක් ලබා ගත් අතර අපි කවුරුත් දන්නා නීතියට අනුව මීලඟ පන්දු වාරයේ මුල්ම පන්දුවට පහර දිය යුතුව තිබුනේ අනෙක් අන්තයේ සිටි චාමර සිල්වා යි. නමුත් ෂහීඩ් අෆ්‍රිඩි විසින් ක්‍රියාත්මක කල 44 වැනි පන්දු වාරයේ මුල්ම පන්දුවට මුහුණ දුන්නේත් ඇන්ජෙලෝ මැතිව්ස් විසින්මයි.

මෙහි ඇති සුවිශේෂිත්වය වන්නේ පාකිස්ථාන ක්‍රීඩකයන් 11 දෙනාටත්, ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනාටත්, ප්‍රධාන විනිසුරුවන් දෙදෙනාටත් එම කරුණ අමතක  වීමය. එම අවස්ථාවේ තරඟයේ පැවැති තියුණු බව නිසා ක්‍රීඩකයන්ට එම කාරණය අමතක වීම සාධාරණ වුවත් ප්‍රධාන විනිසුරුවන් දෙදෙනාටම එය අමතක වීම අනුමත කල නොහැක.

කෙසේ වෙතත් මේ අවස්ථාවේදී ලකුණු සටහන් කරුවන් මෙන්ම පන්දුවෙන් පන්දුව විස්තර විචාරය ගෙන එන ක්‍රික් ඉන්ෆො වෙබ් අඩවිය  වැනි වෙබ් අඩවි වල මාධ්‍යවේදීහු ද දැඩි අසීරුවකට පත්ව තිබේ.ක්‍රික් ඉන්ෆො වෙබ් අඩවියේ අදාල විස්තර විචාරයේද එම සිදු වීම වාර්තා කොට තිබිණි.

මෙම තරඟයේ ප්‍රධාන විනිසුරුවන් ලෙස එංගලන්ත ජාතික ඉයන් ගුල්ඩ් සහ ඕස්ට්‍රේලියානු ජාතික ඩැරල් හාපර් කටයුතු කල අතර තෙවැනි විනිසුරු ලෙස එංගලන්ත ජාතික නිගෙල් ලෝන්ග් කටයුතු කලේය.තරඟ තීරක වූයේ ප්‍රවීණ තරඟ තීරක එංගලන්ත ජාතික ක්‍රිස් බෝර්ඩ් මහතාය.

අනුන් වෙනුවෙන් කඩේ යන අය අපේ සමාජයේ ඕන තරම් ඉන්නවනේ, ඉතින් මේ සටහන තියන්නේ ඒ ගැන නම් නෙමේ.පසුගිය වසරේ සිට බල පැවැත්වෙන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් කිසියම් මතභේදාත්මක තීරණයක් ගනු ලැබුවා. එනම් ක්‍රිකට් තරඟයක් අතරතුරදී පිතිකරුවෙකු කිසියම් ආබාධයකට ගොදුරු වූ විට ඔහු වෙනුවෙන් සහාය දුවන්නෙකු කැඳවීමට එතෙක් දී තිබූ අවස්ථාව අහෝසි කිරීමයි. මේ සටහන තියන්නේ ක්‍රිකට් පිටියේ අනුන් වෙනුවෙන් දුවපු අය සහ ඒ හා බැඳුනු රසවත් කතා කිහිපයක් පිලිබඳවයි.

ශ්‍රී ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන් කණ්ඩායමේ නායකයා වූ කැප්ටන් කූල් හෙවත් අර්ජුන රණතුංග එකල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිටි ජනප්‍රිය චරිතයක්.ඒ වගේම ඔහු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් සමග නිතර ගැටුම් ඇති කර ගන්නෙකු ලෙසද ප්‍රසිද්ධයි.1996 වසරේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගනයේ පැවැති තරඟයකදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු රකින්නා වූ ඉයන් හීලි අර්ජුන සමග ගැටුමක් ඇති කර ගත්තේය. තරමක් තරබාරු ක්‍රීඩයකු වූ අර්ජුන පිටියට පැමිණ ස්වල්ප මොහොතකින් තමගේ පාදයේ මස්පිඩු පෙරළීම නිසා තමන්ට දුවන්නෙකුගේ සහාය අවශ්‍ය බව කියා සිටියේය.ඒ අවස්ථාවේ කඩුලු රකිමින් සිටි ඉයන් හීලි අර්ජුනගේ ශරීරයේ ඇදකුද පවා කියමින් ඔහුට අසභ්‍ය වචනයෙන් බැන වැදුන ආකාරය විකට්ටුවේ සවි කර තිබූ මයික්‍රෆෝනයෙන් හොඳින් ශ්‍රවණය විය.

තරඟයෙන් පසුව පැවැති පුවත් පත් සාකඡ්ඡාවකදී ඉයන් හීලි පවසා සිටියේ “අර්ජුනට භෞත චිකිත්සකවරයා ප්‍රතිකාර කරන ආකාරය මම දුටුවා ඇත්තටම ඔහු කිසි දෙයක් කලේ නෑ.ඔහු වෙනුවන් දිවීමට සැරසී සිටියේ සනත් ජයසූරියයි. ක්‍රිකට් ලෝකයේ වේගවත්ම මිනිසා මන්දගාමීම මිනිසා වෙනුවෙන් දුවන්නට සැරසී සිටීම නිසා මට ඒ වෙලාවේ කේන්ති ගියා.ඒ වෙලේ ඔහුට කිසිම ආබාධයක් තිබුනේ නෑ.මොකද ඔහු ඉනිම ආරම්භ කලා පමණයි.”

මීලඟ කතාවටත් ඉයන් හීලි සම්බන්ධයි.එංගලන්තයේ ට්‍රෙන්ට්බ්‍රිජ්හි එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති තරඟයකදී ඉයන් හීලි දණහිසේ ආබාධයක් හේතුවෙන් සහයක දුවන්නකුගේ ආධාරය ඉල්ලා සිටියේය.එංගලන්ත නායක ඩේවිඩ් ගවර් එම ඉල්ලීමට ඉඩ දුන් අතර ඉයන් හීලිගේ සහයට පැමිණියේ කඩුලු අතර වේගයෙන් දිවීමට හැකියාවක් තිබූ ඩීන් ජෝන්ස් ය.තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමේ  මහත් වූ උනන්දුව නිසා හීලිට තමාට සහයක  දුවන්නකු සිටින බව අමතක වූ අතර පන්දුවට පහර දීමෙන් පසු දිව යාමට පටන් ගත්තේය. මේ නිසා ගවර් ජෝන්ස්ට නැවත ක්‍රීඩගාරයට යන ලෙස ඉල්ලා සිටියේය. තරඟයේ අවසන් ඕවරයේ අවසන් පන්දුවට ජයග්‍රහණය සඳහා ලකුණු 2ක් අවශ්‍ය වූ අතර හීලිට ලබා ගත හැකිවූයේ එක් ලකුණක් පමණි. හීලිගේ අනවශ්‍ය කලබලය නිසා තරඟය ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය.

ක්‍රීඩකයෙකු වෙනුවෙන් තවත් ක්‍රීඩයෙකු දුවද්දී විනිසුරුවන්ටත් වැඩ වැඩි වෙනවා. එසේ නම් අන්ත දෙකේම පිතිකරුවන් වෙනුවෙන් සහයක දුවන්නන් පැමිණියහොත් ඇති වන තත්වය කෙබඳු වේද..??? මේ දුර්ලභ මෙන්ම අපූරු සිදුවීම සිදු වුනේ 2003 වසරේ ගයනාහි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගනයේ පැවැති ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවති ටෙස්ට් තරඟයේදීය. ශිවනරින් චන්ද්‍රපෝල් පලමු ඉනිමේදී වේගවත් ශතකයක් ලබා ගත් අතර එහිදී  දණහිසේ පන්දුව වැදීමෙන් වූ ආබාධයක් සහිතව දෙවනි ඉනිමේ පන්දුවට පහර දෙමින් සිටි අතර අනෙක් අන්තයේ සිටි රිඩ්ලි ජේකබ්ස් ඉකිලියේ මස්පිඩු ආබාධයකට ලක්ව සිටියා.

මොවුන් දෙදෙනා වෙනුවෙන් සහයක දුවන්නන් ලෙස පැමිණ සිටියේ මාලන් සැමුවෙල්ස් සහ වේවල් හයින්ඩ්ස් ය.කුමන පිතිකරු කුමන ස්ථානයේ රැඳී සිටිය යුතුද යන්න තීරණය කිරීමට විනිසුරුවන්ගේ මැදිහත් වීමත්, ප්‍රතිවාදී පිතිකරුවන් සිව් දෙනෙකු පිටිය මැදට වී තරඟ උපක්‍රම සාකඡ්ඡා කිරීමෙන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට එල්ල වූ පීඩනයත් මෙහිදී මොනවට පෙන්නම් කල අතර නරඹන්නට නම් එය මහත් අපූරු අවස්ථාවක් විය. කෙසේ වෙතත් මේ අපූරු අවස්ථාව වැඩි වේලා නොපැවතියේ ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය ලකුණු 7කට සීමා වූ නිසාය.

2009 වසරේ පැවති ශූරයන්ගේ කුසලාන තරඟාවලියේ තරඟයකදී එංගලන්තය ලබා ගත් ලකුණු 323 හඹා යමින් සිටි සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ග්‍රැහැම් ස්මිත් ශතකයක් ලබා ගත්තා. ශතකය ලබා ගැනීමෙන් අනතුරුව ස්මිත් මස්පිඩු වේදනාව නිසා සහයක දුවන්නෙකුගේ සහය පැතුවා. ඒ වනවිට ඩිවිලියස් ලක ලැහැස්ති වී ස්මිත් වෙනුවෙන් දිවීමට පිටියට පැමිණ සිටි නමුත් එංගලන්ත කණ්ඩායමේ නායක ඇන්ඩෘ ස්ට්‍රව්ස් එයට විරුද්ධ වුනා. එම තරඟය එංගලන්ත කණ්ඩායම ලකුණු 22 කින් ජය ගත් අතර තරඟයෙන් අනතුරුව ස්ට්‍රව්ස් පවසා සිටියේ එම අවස්ථාව වන විට සහයක දුවන්නෙකුගේ සහය ලබා ගැනීමට තරම් ස්මිත් ආබාධිතව නොසිටි නිසා තමන් එයට විරුද්ධ වූ බවයි.

 

වසර 2003 දී දකුණු අප්‍රිකාවේ පැවති ලෝක කුසලාන තරඟාවලියේදී කවදත් උණුසුම් මුහුණුවරක් ගන්නා ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවති තරඟය දෙරටේ ප්‍රේක්ෂකයන්ට කිසිදා අමතක නොවන්නේ සහීඩ් අන්වර්  ලැබූ ශතකයත් ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් ගේ අගනා ඉනිමත් නිසාය.මෙහිදී ටෙන්ඩුල්කාර් සිය තමන් පාදයේ ආබාධයකට ලක්ව සිටියදීත් සහයක දුවන්නකුගේ සහය ලබා ගැනීම ප්‍රතික්ෂේප කලේය.සචින් එදා ලබා ගත් අධිෂ්ඨානශීලී ලකුණු 98 ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණයේ දොරටු විවර කර දුන් අතර එය ක්‍රිකට් වංශ කතාවේ තවත් අතිවිශිෂ්ට ඉනිමක් ලෙස ඉතිහාස ගත විය.

ඇත්ත වශයෙන්ම එක ලකුණ,දෙක ගැන හොඳ අවබෝධයක් ඇත්තේ පන්දුවට පහර දෙන ක්‍රීඩකයාට මිස වෙන කෙනෙකුට නොවේ.මේ බව මොනවට පැහැදිලි කරමින් ඒ සුපිරි ක්‍රීඩකයා එදා තරඟයෙන් අනතුරුව ප්‍රකාශ කලේ “මා තරම් දිවීමට වෙනකෙකුට නොහැකි බවයි ”

(ක්‍රික් ඉන්ෆො වෙබ් අඩවියෙහි පලවූ ලිපියක් ඇසුරෙනි)

Posted by: nipunsa | මාර්තු 31, 2012

බ්ලොග්කරණයට සාදරයෙන්….!

බ්ලොග් එකක් ලියන්න අසාවක් තිබ්බත් ඒක විවිධ හේතු නිසා ලියන්න බැරි වුනා. ඉතින් මේ මගේ පලවෙනි ලිපිය ඉතින් අද  පටන් අපි කතා කරමු…!

ප්‍රවර්ග